දේශපාලනයෙන් වැනසුණු රාජ්‍ය සේවය – රචනා

0
lock

1931 දී ස්ථාපිත කළ ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේ ස්ථාපිත කරන ලද නව නීති පද්ධතිය යටතේ රාජ්‍ය නිලධාරීන්, මූල්‍ය කටයුතු, අධිකරණ හා නීති විදේශ කටයුතු ආදී බලතල රැසක් පිහිටුවන ලද නව ව්‍යවස්ථාදායක මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කළේය. 1948 සිට විධායක බලතල පාර්ලිමේන්තුව හෙවත් රාජ්‍ය සභාව වෙත පවරා දෙන ලදී. 1972 දක්වා රාජ්‍ය පරිපාලන කාර්යයන් සාර්ථකව කරගෙන යාම සඳහා කොමිසන් සභාවක් ස්ථාපිත කර තිබුණි. 1972 නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය මඟින් එම කොමිසන් සභාව අහෝසි කළ අතර මෙරට පරිපාලන ක්ෂේත්‍රයට බාහිර ඇඟිලි ගැසීම්, දේශපාලන බලපෑම් එල්ලවීම ආරම්භ විය.
ඉන්පසුව දාහත්වන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය මඟින් ද ස්වාධීන කොමිෂන් සභාවක් යෝජනා වුවද එම යෝජනාව ද යෝජනාවකට පමණක් සීමා විය. ඉන්පසුව ඇතිකළ දහ අටවන ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය මහා ආරවුලක් බවට පත් විය. එහෙත් පරිපාලන නිලධාරීන්ට තිබිය යුතු ප්‍රමුඛ අංග ලක්ෂණය විය යුත්තේ දේශපාලන බලපෑම්වලට යටත් නොවී සෘජුව තම කාර්ය භාරය ඉටුකිරීමය. එය බලහත්කාරයෙන් ඇතිකළ හැකි දෙයක් නොව නිලධාරීන් තුළ ඇතිවිය යුතු තත්ත්වයකි.
පවත්නා දේශපාලන පරිපාලන ක්‍රමයේ මූලික අංග දෙකක් පවතී. ඒ නම් ප්‍රතිපත්ති සම්පාදනය හා පරිපාලන ක්‍රියාවලියයි. ව්‍යවස්ථාදායකය මඟින් ප්‍රතිපත්ති සකස් කරන අතර රාජ්‍ය පරිපාලන නිලධාරියා විසින් අදාළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු වන්නේය. දේශපාලකයාට ඇති කාර්යය දේශපාලකයා විසින් හඳුනාගත යුතු අතර, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය නිලධාරියා තම සේවා ස්වාධීනව කරගෙන යාමට හැකිවන ලෙසට, දෙපක්ෂයේ කාර්ය භාරයන් දෙපක්ෂය විසින් විධිමත්ව හඳුනාගත යුත්තේය.
රටේ ජීවනාලිය ලෙස සැලකිය හැකි රාජ්‍ය සේවාව ඉකුත් දශක කීපයක් තිස්සේම එක තැන පල්වෙමින්, පිරිහීමට ලක්වී ඇති බවට අටුවාටීකා අවශ්‍ය නැත. රාජ්‍ය සේවය තුළින් පොදුවේ රටවැසි ජනතාවටත්. රටටත් ඉටුකළ හැකි මෙහෙවර ලඝු කොට සැලකිය නොහැකිය. එය විධිමත්ව කාලානුරූපව අවස්ථාවෝචිත පරිදි ක්‍රියාත්මක විය යුතුය.
ශ්‍රී ලංකා පරිපාලන, ගණකාධිකාරී, විද්‍යාත්මක, ඉංජිනේරු, සෞඛ්‍ය, අධ්‍යාපන පරිපාලන, සැලසුම් වැනි සේවා මේ රටේ රාජ්‍ය සේවයේ දීප ව්‍යාප්ත සේවාවන් ලෙස සැලකිය හැකිය. මීට අමතරව ත්‍රිවිධ හමුදාවද එකතු වෙයි. කලින් සඳහන් කළ පරිදි 1948 සිට 1978 දක්වා පාර්ලිමේන්තුවට ක්‍රියාත්මක විධායක බලතල පැවරී තිබුණි. 1978 තෙක් ආණ්ඩුකාර පදවියක් තිබුණ ද එය නාමික විධායකයක් පමණි. 1978 ආ. ක්‍ර. ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට විධායක බලතල හිමිවීමත් සමඟම රට තුළ ප්‍රධාන වෙනස්කම් කීපයක් සිදුවිය. මෙම වෙනස්කම් අතර සමහරක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ද, සමහරක් අනුකූල නොවන අයුරින් ද පැවැතියේය. තවත් එලෙසමය.
ලොව බොහොමයක් රටවල රාජ්‍ය සේවා ක්‍රියාවලින් කලින් කලට වෙනස් වෙයි. එවන් තත්ත්වයක් ඇතිවන්නේ සමාජ අවශ්‍යතා අනුවය. වත්මන් රජය යහපාලනයක් කරා යන ගමනේදී, රාජ්‍ය සේවය ද යථා පරිදි ප්‍රතිසංවිධානය වීම අනිවාර්යය විය යුත්තේය.
රජය මඟින් මෙහෙයවනු ලබන මහජන සුබසාධන කාර්යයන්, සංවර්ධන ව්‍යාපෘති අඩාල කරමින් පරිපාලන ක්‍රියාවලිය අවුල් කරන රාජ්‍ය නිලධාරීන් පිරිසක් තවමත් නැත්තේ ද නොවේ. බලයට පත්වන හැම රජයක්ම කලින් කලට උසස් නිලධාරීන් මෙන්ම යටත් නිලධාරීන් ද එහා මෙහා කිරීම සිරිතකි. හුදෙක් ඒ තමන්ට විශ්වාසදායක පිරිස් ළංකර ගැනීමකි. කලින් හිටිය නිලධාරියා පැවති රජයේ ගැත්තෙකු ලෙසට වැරදි ආකල්පයක් ඇතිකර ගැනීම නිසා මෙවන් තත්ත්වයක් උදාවෙයි. මෙයින් ගම්‍ය වන්නේ රාජ්‍ය සේවයේ පරිහානියට නිසි රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීමය.
1990 දී නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 44/90 යටතේ බොහෝ දක්ෂ රාජ්‍ය නිලධාරීන් නිසි සේවා වයස් සම්පූර්ණ වීමට පෙර විශ්‍රාම ගත්හ. (එය බලහත්කාරී ලෙස විශ්‍රාම යැවීමක් ‍හා සමානය) මේ නිසා ලිපිකරු හා සමාන්තර ශ්‍රේණිවල නිලධාරීන් ද අනෙක් නිලධාරී පිරිස් ද සේවයෙන් සමුගැනීම නිසා රාජ්‍ය සේවය බිඳවැටීමේ ඉඩකඩ තවදුරටත් තීව්‍ර විය. පුරප්පාඩු පිරවීමක් නිසි පරිදි සිදු නොවූ නිසා බොහොමයක් පුරප්පාඩුවලට දේශපාලන ගැත්තන් පත්විය. කාර්යාල ක්‍රම පද්ධති, කාර්යාල සංවිධාන, කළමනාකරණ විධි ආදිය ඔහේ ආවාට ගියාට පවත්වාගෙන ගියේය.
කිසිවෙකුට හරි පුහුණුවක් නැති තරම්ය. යල් පැන ගිය ලිපිගොනු ක්‍රමය වෙනුවට යුගයට ගැළපෙන අයුරින් වූ කාර්යාල කළමනා ක්‍රමයක් බිහිවූයේ නැත. මේ නිසා දේශපාලනඥයින්ටත්, ඔවුන්ගේ අනුගාමිකයන්ටත් රාජ්‍ය සේවය කෙළිබිමක් බවට පත් විය. මහජනයා විසින් යවනු ලබන ලිපිවලට පිළිතුරු සැපයීමටවත්, එය ලැබුණ බවවත් දැන්වීමට තරම් කාරුණික නොවීය. ඉකුත් සමයේ ද උපාධිධාරීන් දහස් ගණනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ වෙනත් රාජ්‍ය දෙපාර්තමේන්තුවලට අනුයුක්ත කරන ලදී. ඔවුන්ට නිසි පුහුණුවක් හෝ විධිමත් විෂයයක් හරිහැටි බාර දී නැත. ඔවුන්ගේ උගත්කමින්, උපාධියෙන් නිසි ප්‍රයෝජනයක් ගැනීමට ඒ රජය ඉඩකඩ සැලැස්වූයේ නැත.
රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණවලදී වඩාත් ඵලදායී පිළිවෙතකට පිවිසීමේදී මැලේසියානු රටින් මෙන්ම අපට ඉතාමත් සමීප ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙන් ද උදාහරණ පාඩම් ලබාගත හැකිය. එම රට හා ප්‍රාන්තයෙහි සේවය කරන සේවකයින්ට රජය සලකන හැටි සේවකයින් ජනතාවට සලකන හැටි ආකර්ෂණීය ස්වරූපයක් ගෙන තිබේ. වත්මන් රජය රාජ්‍ය සේවකයින්ගේ වැටුප් නැංවීම ප්‍රසාදයට කරුණක් වුවද, සේවාවන් කිරීමේදී තම සේවාවන් තෘප්තියෙන් කිරීමට අවැසි පරිසරය ද නිර්මාණය කරදීම වැදගත් වේ.
නව කාර්යාල ක්‍රම සම්පාදනයේදී පළමුවෙන්ම කළ යුතු වන්නේ රජයේ කාර්යාලවල පවතින අනවශ්‍ය ප්‍රමාදය වළක්වාලීමය. අත්‍යවශ්‍ය ලිපිගොනු පමණක් පවත්වාගෙන යාම වැදගත් වේ. රජයේ රහස්‍ය හා වැදගත් අනෙක් ලිපිගොනු මධ්‍යම ගබඩාවේ තැන්පත් නොකර, මාණ්ඩලික නිලධාරියෙකු භාරයේ තැබීමෙන් රහස් පිට නොවේ. කාර්යාලයට ලැබෙන ලිපි මුලින්ම විෂය භාර ලිපිකරු වෙත නොයවා මාණ්ඩලික නිලධාරි විසින් ඒවා කියවා, ගත යුතු ක්‍රියාමාර්ග එහි සටහන් කර අදාළ නිලධාරියා (ලිපිකරු) වෙත යැවීමෙන් සේවය කඩිනම් වෙයි.
යුගයට ගැළපෙන පරිදි කාර්යාල ක්‍රමයක් අභිනවයෙන් සකස් කර ගැනීම ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කරනු ඇතැයි විශ්වාස කෙරේ. පිටතින් එන ලිපි, ලිපිගොනුවල හෝ ලාච්චුවල හිර නොකර, ජනතා අවශ්‍යතාවලට ඉක්මන් විසඳුම් දීමට පියවර ගැනීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම වෙයි. එය ජාතික සුභසිද්ධියට ඉවහල් වන්නකි. ප්‍රතිපත්ති සම්පාදනයත්, පරිපාලන ක්‍රියාවලියත් කරුණු දෙකක් සේ සිතා දේශපාලකයින් හා නිලධාරීන් මේ ගැන හොඳින් අවබෝධ කරගෙන ක්‍රියා කිරීමෙන් පමණක් යහපාලනයක් උදාවෙයි.

Source – https://www.facebook.com/groups/1854160081519302

About Author

Leave a Reply