ග්‍රීසිය “යුරෝ” මුදලෙන් වෙන්වෙයිද? – රචනා

ග්‍රීසියේ පෞර රාජ්‍ය මුල් කර ගෙන ප්‍රජාතන්ත්‍රවාදය බිහි වුණ අතර ඔලිම්පික් ක්‍රීඩාවේ නිජබිම ලෙස සැලකෙන්නේද ග්‍රීසියයි. යුරෝපා ජාතින් අතර අභිමානවත් සංස්කෘතියක හිමිකම ග්‍රීසිය සතුව පවතී. දූපත් 1400 කින් සැදුම්ලත් ග්‍රීසිය පර්සියානු අධිරාජ්‍යය සමග විශාල යුධ සේනාවකට එරෙහිව සටන්වැද ලද ජයග්‍රහණය ඔවුන්ගේ අභිමානයේ සන්ධිස්ථානය ලෙස සැලකුනා. බටහිර දර්ශනයේ මෙන්ම ග්‍රීක දර්ශනයේ මුලාරම්භය වු “තේලිස්” ඇරිස්ටෝටල්” සහ “සොක්‍රටිස්” වැනි දාර්ශනිකයන්ගේ සහ පයිතගරස් වැනි ගණිතඥයන්ගේ ආශ්‍රයෙන් ග්‍රීසිය ලෝක ප්‍රජාව අතර කීර්තිය දිනා ගෙන ඇත. පෙරදිග සහ වෙනත් කලා සම්ප්‍රදායන්ගෙන් යුරෝපීය කලාවේ සමාරම්භය ග්‍රීක කලාවට සම්බන්ධව ඇත. ‘හෝමර්’ සහ ‘ඔඩිසිගේ’ විර කාව්‍යන්ගෙන් සාහිත්‍යයද , ඔලිම්පියාහි පිහිටි “හේරා” දේවතාවිය වෙනුවෙන් ඉදිකරන ලද දෙව් මැදුර ගෘහනිර්මාණ ශිල්පය වෙනුවෙන් වූ ග්‍රීසියේ උරුමය පිළිබිඹු කරන කැඩපතක් වැනිය.
ලිඩියන්වරුන්ගෙන් ආරම්භ වුණ ග්‍රීසියේ මුදල් භාවිතයේදී මුල්ම මුදල් භාවිතා කරන ලද පුද්ගලයා ලෙස සැලකෙන්නේ “ආර්ගොස් හෙයිඩොන්” ය. ග්‍රීසියේ මුල්ම කාසිය අණ්ඩාකාර හැඩය ගත් ලෝහ වර්ගයක් වූ අතර එහි එක් පැත්තක් රළු අතර අනෙක් පැත්තේ කටුවකින් කාවද්දන ලද මුද්‍රාවක් පිහිටා තිබුණි. කාසි සංවර්ධනය වෙත්ම දෙපැත්ත සලකුණු කරන ලද මුද්‍රාවන් තබන ලදී.
මුල්කාලයේ ග්‍රීසියේ කාසිවල දෙවිවරුන්ගේ රූප සටහන් කරන ලදී. ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාට ගෞරවයක් ලෙසින් කාසිවල රජතුමාගේ හිස සටහන් කරන ලදී. ඒ වගේම ග්‍රීසියේ කාසිවල නගරයට සම්බන්ධ ලාංඡනයන් සටහන්ව තිබුණි. පී. ගාඩිනර් සඳහන් කරන්නේ නගරයට භාග්‍යය උදාකරන ලද දෙවියන්ගේ හෝ නගරයේ ප්‍රධාන ලක්ෂණයන් කාසිවල සටහන්ව තිබුණ බවයි. ඒ අනුව “පෙරායිගි” නගරයේ කාසිවල “අශ්වයාද” “ඇතැන්ස්” නගරයේ කිසාවල “බස්සා” ද “හිමෙරා” නගරයේදී “කුකුලා” ද සටහන්ව තිබුණි.
ග්‍රීසිය වෙළඳ සම්බන්ධතාවයන් පවත්වා තිබුණේ ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා පොදු හවුල සමග වුවත් මෑත කාලයේදී සමාජවාදී රටවල් සමගත් වෙළඳ සම්බන්ධතාවයන් ආරම්භ කරන ලදී. ආනයනයන්ගෙන් 6% සිට 8% ක ප්‍රතිශතයක් යුගොස්ලෝවියාවෙන් ආනයනය කරන අතර ජනතාවගේ ජීවන තත්ත්වය එතරම් සතුටුදායක මට්ටමක පැවැතුනේ නැත. 1990 වසර වන විට ග්‍රීසියේ ඒක ශීර්ෂ දළ ජාතික නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 5,990 ක් විය.
මේ අතර පසුගිය කාලයේදී ග්‍රීසියේ ආර්ථිකයට බලවත් පහරක් එල්ල වුයේ වර්තමාන පාලනය වෙනුවෙන් ග්‍රීසියේ ඇතැන්ස් නගරයට එක්රැස් වුණ ජනතා උද්ඝෝෂණයයි. මහජන මතය වුයේ “ඇලෙක්සි සිප්රාස්ගේ” නායකත්වයෙන් යුක්ත රජයේ මුල්‍ය ප්‍රතිපත්තිය ග්‍රීසියට නොගැලපෙන බවයි. 2012 වසරේ පටන් යුරෝපා සංගමයෙන් ලබා ගත් ඩොලර් බිලියන 1.7 ක මුදලක් පියවිය යුතුව තිබුණි. මෙම මුදල පියවීම වෙනුවෙන් ග්‍රීසියට යුරෝපා සංගමයෙන් ණයක් ලබා දීමට නම් ඒ වෙනුවෙන් වූ පහත දැක්වෙන කොන්දේසි ඉදිරිපත් කොට ඇත.
විශ්‍රාම වැටුප් ණය ක්‍රමය සීමා කිරීම
නව වැට් බදු ක්‍රමයක් හඳුන්වා දීම.
ආරක්ෂක වියදම් සීමා කිරීම
යුරෝපා සංගමය කියා සිටින්නේ මෙම යෝජනාවන්ට ග්‍රීසිය එකඟතාවයක් ඇත්තේ නම් යුරෝ බිලියන 15.5 ක ණය මුදලක් ලබා දීමට යුරෝපීය කොමිසම, යුරෝපීය මහබැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන ආයතන ත්‍රිත්වය කැමැත්තෙන් සිටින බවයි.
ග්‍රීක පාලකයන්ද රටේ පවතින මූල්‍ය අර්බුදය පිළිගෙන ඇති අතර ඒ වෙනුවෙන් වු විකල්ප යෝජනාවන්ද ඉදිරිපත් කර ඇත.
මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් බද්දක් අය කිරීම
මහා පරිමාණ ධනවතුන්ගෙන් විශේෂ මුදලක් ලබා ගැනීම
තෝරාගත් භාණ්ඩ මත වැට් බදු පැනවිම

ග්‍රීසියේ අගමැති “ඇලෙක්සි සිප්රාස්” සඳහන් කරන්නේ යුරෝපා සංගමය මගින් ඉදිරිපත් කරනු ලබන මෙම යෝජනාවන් වෙනුවෙන් ජනමත විචාරණයක් අවශ්‍ය බවයි. ජර්මනියේ චාන්ස්ලර් ඇන්ජලා මර්කල් පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ග්‍රීසියේ ජනමත විචාරණය අවසාන වෙන තෙක් ණය ලබා දීම පිළිබඳ සාකච්ඡාවන් නොපවත්වන බවයි.
එක්සත් යුරෝපයක් ගොඩ නගමින් ආර්ථික අධිකාරිය සවිමත් කිරීම සඳහා ‘යුරෝ මුදල්’ ඒකකය බිහි විය. 1998 මැයි මාසයේදී බ්‍රසල්ස් නගරයට එක්රැස් පිහිටුවා ගත් “යුරෝ” මුදල් ඒකකය 1999 වර්ෂයේ පටන් ක්‍රියාත්මක විය. ඒ අවස්ථාවේදී ග්‍රීසිය ජනමත විචාරණයකින් තොරව යුරෝ මුදල් ඒකකයට සම්බන්ධ විය. නමුත් ස්විඩනය යුරෝ මුදල් ඒකකයට සම්බන්ධ වීම සඳහා ජනමත විචාරණයක් පවත්වන ලද අතර එහිදී ලබා ගත් නිගමනය අනුව යුරෝ මුදල් සමග සම්බන්ධ වීමෙන් වැලකී සිටීමට තීරණය කරන ලදී. නමුත් යුරෝ මුදල් භාවිතා කරන රටවල් දැඩි මූල්‍යමය ගැටලුවකට දැන් මුහුණ දී ඇත. පෞද්ගලික හා රාජ්‍ය බැංකු ලබා ගෙන ඇති ණය සහ වාරික පොලී ගෙවීම වෙනුවෙන් යුරෝපීය මහ බැංකුව මගින් ලබා දෙන ලද ණය පියවීම මෙම මුදල් ඒකකය භාවිතා කරන රටවල්වලට ගැටලුව ඇත. මුලින්ම මෙම මුදල් අර්බුදයට අයර්ලන්තය මුහුණ දුන් අතර පෘතුගාලය සහ ග්‍රීසිය වැනි රටවල්ද මෙම මුදල් අර්බුදයට දැන් මුහුණ දී සිටි. ණය සහන යෝජනාවන් වෙනුවෙන් විසඳුමක් නොලැබෙන්නේ නම් යුරෝ මුදල් ඒකකයෙන් ඉවත් වන්නට ග්‍රීසිය තීරණය කළත් ග්‍රීසියේ සිප්රාස්ගේ රජයට එරෙහි උද්ඝෝෂකයන් කියා සිටියේ යුරෝ මුදල් ඒකකයෙන් ඉවත් වීම මේ වෙනුවෙන් විකල්පය නොවන බවයි.
ග්‍රීසිය වෙනුවෙන් හදිසි අවස්ථාවන් වෙනුවෙන් ණය ලබා දීම නතර කිරීමට යුරෝපා මහ බැංකුව තීරණය කළ නිසා ග්‍රීසියේ බැංකු සතියක කාලයක් වසා දමන්නට එරට බලධාරීන් විසින් තීරණය කරන ලදී. මේ නිසා ATM යන්ත්‍රයකින් පවා ගනුදෙනුකරුවෙකුට දිනකට ලබා ගත හැකි මුදල යුරෝ හැටකට සිමා කරන ලදී. ග්රීසියේ ආර්ථික අර්බුදය වෙනුවෙන් වූ සාකච්ඡාවක් පැවැත්වුන අතර ඒ සඳහා යුරෝපීය කොමිසම, යුරෝපීය මහබැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සාමාජිකයන් සහභාගි වූහ. ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් සම්මාන ලද ආර්ථික විද්‍යාඥ “ජෝශප් ඊ ස්ටිග්ලට්ස්” සඳහන් කරන්නේ මෙතැන ඇත්තේ බලය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර ගැටුමක් බවයි. ජනමත විචාරණයක් වෙනුවෙන් යුරෝපා සංගමයේ කැමැත්තක් නොමැති අතර ජනමතය ප්‍රතික්ෂෙප වූ විට ණය සහන පිළිබඳ යෝජනාව ප්‍රතික්ෂෙප වේ. එවිට ග්‍රීසිය යුරෝ මුදල් ඒකකය වෙනුවට තම රටේ මුදල් ඒකකය වෙතට නැවත යොමු වෙනු ඇත.
මේ පිළිබඳව අදහස් ඉදිරිපත් කරන ග්‍රීක මුදල් අමාත්‍ය යානිස් වරෝෆාකිස් (Yanis Varoufakis) සඳහන් කරන්නේ ජාත්‍යන්තර ආයතනයන්හි අවශ්‍යතාවයව ඇත්තේ ණය සහන යෝජනා වෙනුවෙන් ජනතාවගේ කැමැත්ත ලබා ගෙන ග්‍රීක ජාතිය අවමානයට පත් කිරීම බව ස්පාඤ්ඤයේ එල් මුන්දෝ (El Mundo) පුවත්පත් සංවාදයේදී සඳහන් කර සිටියේය. මෙම ණය සහන යෝජනාවන් ජනතාවගේ පාර්ශවයෙන් ප්‍රතික්ෂෙප වුවහොත් වඩාත් ගැලපෙන යෝජනාවක් ඉදිරිපත් කිරීමට ග්‍රික රජයට අවස්ථාව ලැබෙන බව ග්‍රීක අගමැති ඇලෙක්සිස් ශිප්රාස් (Alexis Tsipras සඳහන් කරයි. ජුලි 5 වැනි දින පැවැති ග්‍රීක ජනමත විචාරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 69% ක් ණය යෝජනා ප්‍රතික්ෂෙප කරන ලදී. මේ අනුව යුරෝ මුදල සහ යුරෝපා සංගමයේ ණය දෙන ආයතන මත නොරැඳී සිටීමේ විකල්ප වෙනුවෙන් ග්‍රීසියට අවස්ථාව ඇත. එහෙත්… යුරෝපා කලාපයේ මුදල් අමාත්‍යවරුන් සඳහන් කරන්නේ ණය යෝජනාවන් ප්‍රතික්ෂේප වීම ග්‍රීසියේ අනාගත ආර්ථික අවදානමක පෙර නිමිති බවයි.

Source – https://www.facebook.com/groups/1854160081519302

Leave a Reply

Your email address will not be published.

%d bloggers like this: